විගණන සේවා කොමිෂන් සභාව සඳහා අලුතින් පත් කරන ලද සාමාජිකයන් සිව්දෙනා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ නිල වශයෙන් දිවුරුම් දුන්හ. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව මෙම දිවුරුම් දීම සිදු වූ අතර, එහිදී ඔවුන් විගණන කටයුතුවලට අදාළ සංවේදී තොරතුරු ආරක්ෂා කිරීමට පොරොන්දු විය. මෙලෙස දිවුරුම් දෙනු ලැබුවේ හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ, හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජී. තේවඥානන්, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකු වන රත්න දේශප්‍රිය යන මහත්වරුන්ය.ජාතික විගණන පනතේ 9 වැනි වගන්තිය ප්‍රකාරව, විගණන ක්‍රියාවලියේදී අනාවරණය කරගන්නා කිසිදු කරුණක් රජයේ හෝ පෞද්ගලික අංශයේ බාහිර පාර්ශ්වයන් වෙත හෙළිදරව් නොකිරීමට මෙම සාමාජිකයන් නීත්‍යානුකූලව බැඳී සිටී. කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව හෝ අධිකරණයක් විසින් නිල වශයෙන් නියම කරනු ලබන අවස්ථාවලදී පමණක් එම රහස්‍යභාවය ලිහිල් කිරීමට අවසර ලැබේ. මෙම පත්වීම් හරහා රාජ්‍ය මූල්‍ය විනය හා විගණන ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් සහ වගකීමකින් යුතුව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කෙරේ.

























