රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා දිගින් දිගටම රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය සිය දැඩි විරෝධය පළ කර සිටී. අසාද් මවුලානා විසින් එල්ල කරන ලද චෝදනා අසත්‍ය බව ජනාධිපති කොමිසමක් මගින් මීට පෙර තහවුරු කර තිබියදීත්, ඔහුව මෙලෙස රඳවා තබා ගැනීම යුක්ති සහගත නොවන බව එම සංගමය පෙන්වා දෙයි. විශේෂයෙන්ම, දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතා මත රජය මෙම තීරණය ගෙන ඇති බවට ඔවුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක සඳහන් වේ. තවද, අසාද් මවුලානා යනු විවිධ ත්‍රස්තවාදී සංවිධාන සමඟ සබඳතා පැවැත්වූ සහ වරෙන්තු නිකුත් වී සිටින පුද්ගලයෙකු බව ඔවුන් අවධාරණය කරයි.සලේ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශගත හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ ප්‍රකාශයක් මත බවත්, මෙය රටේ ආරක්ෂාව වෙනුවෙන් කැපවූ නිලධාරියෙකුට සිදුකරන අගෞරවයක් බවත් විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. ඔහුට රඳවා තබා ගැනීමේදී මානුෂීය සැලකිල්ලක් නොමැති වීම පිළිබඳව ඔවුන් සිය අප්‍රසාදය පළ කර ඇති අතර, අත්අඩංගුවේ සිටින කාලය තුළ ඔහුට හිමිවිය යුතු ගෞරවය සහ පහසුකම් ලබා දිය යුතු බව ද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.මේ අතර, අත්අඩංගුවේ පසුවියදී ආරම්භ කළ උපවාසයක් හේතුවෙන් රෝගාතුර වූ හිටපු බුද්ධි ප්‍රධානියා දින 13ක සිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පවුලේ සාමාජිකයන් දැඩි විමසිල්ලෙන් පසුවන අතර, අද (20) උදෑසන ඔහුගේ දියණිය සහ පුත්‍රයා රෝහලට පැමිණ ඔහුගේ සුවදුක් විමසා බැලූහ.



























