ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන අල්ලස් ලබා ගැනීමේ මතභේදාත්මක සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන කපිල චන්ද්‍රසේන විසින් ලබාගත් නීතිවිරෝධී අල්ලස් මුදලකින් කොටසක් මන්ත්‍රීවරයා වෙත ද ලැබී ඇති බවයි.ඒ අනුව, අදාළ නීතිපති උපදෙස් මත පදනම්ව මෝසමක් මඟින් මෙම නඩුව යළි කැඳවා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් මන්ත්‍රීවරයා නිල වශයෙන් සැකකරුවෙකු ලෙස නම් කිරීමට නියමිතව පවතී. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ භාර්යාවට එරෙහිව මෙම නඩුව මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී.වසර 2014 සහ 2015 කාලසීමාව තුළ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 100ක අල්ලසක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා මත, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට පෙර අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් අනතුරුව, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව ලබන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.



























