මෙරට සංචාරක ක්ෂේත්‍රය යළිත් වේගවත් ප්‍රකෘතිමත් වීමක් පෙන්නුම් කරමින්, වසරේ මුල් මාස හතර ඇතුළත සංචාරකයින් 840,411 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 22 දක්වා වූ කාලසීමාව තුළ මෙම වාර්තාගත පැමිණීම සටහන් වී තිබේ. මෙය පසුගිය වසරවලට සාපේක්ෂව මෙරට සංචාරක ආර්ථිකයට ලැබුණු විශාල ශක්තියකි.මෙම සංඛ්‍යාලේඛන සැලකීමේදී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. ඒ අනුව ඉන්දීය ජාතිකයින් 176,465 දෙනෙකු මෙරට සංචාරය කර ඇති බව දත්ත මගින් තහවුරු වේ. ඉන්දියාවට අමතරව බ්‍රිතාන්‍යය, රුසියාව, ජර්මනිය සහ චීනය වැනි ප්‍රමුඛ පෙළේ රාජ්‍යයන්ගෙන් ද සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලංකාව සිය විවේකී ගමනාන්තය ලෙස තෝරාගෙන තිබේ.විශේෂයෙන්ම අප්‍රේල් මාසය ආරම්භයේ සිට ගත වූ දින 22 තුළ පමණක් විදේශිකයන් 99,777 දෙනෙකු දිවයිනට පැමිණ තිබීම කැපී පෙනෙන ලක්ෂණයකි. සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ පසුගිය මාසවලට සාපේක්ෂව අප්‍රේල් මාසය තුළ දෛනිකව සංචාරකයින් මෙරටට ගොඩබැසීමේ ප්‍රවණතාව ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.මෙලෙස සංචාරක ආගමනය වර්ධනය වීම මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට මෙන්ම දේශීය ව්‍යාපාරිකයන්ට සහ රැකියා ක්ෂේත්‍රයට ද නව ජවයක් එක්කරයි. වත්මන් ස්ථාවර භාවයත් සමඟ ඉදිරි මාසවලදී ද මෙම වර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිවනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළ කරයි.

























