ලෝක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට ඇති අවස්ථා පුළුල් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කවුළුව (IPD) අතර නව අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. 2019 වසරේ සිට පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන මෙම එකඟතාව හරහා වෙළෙඳ ප්‍රවර්ධනය, ආයතනික ධාරිතා සංවර්ධනය සහ උපාය මාර්ගික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇත.මෙම නව වැඩපිළිවෙළ යටතේ ස්වභාවික අමුද්‍රව්‍ය අංශයේ තාක්ෂණික ඥානය වර්ධනය කිරීම සහ යුරෝපීය ගැනුම්කරුවන් සමඟ මෙරට අපනයනකරුවන් සෘජුව සම්බන්ධ කිරීමේ ව්‍යාපාරික සබඳතා ඇති කිරීමට නියමිතය. මීට අමතරව, අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ තොරතුරු සහ පුහුණු වැඩසටහන් මෙරට ව්‍යාපාරිකයන් වෙත සමීප කරවීම ද මෙහි ප්‍රධාන අරමුණක් වෙයි.කොළඹදී අත්සන් තැබුණු මෙම ගිවිසුම් අවස්ථාවට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා සහ IPD හි ප්‍රධානී ආචාර්ය ජූලියා බෙලින්හවුසන් මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ. මෙම හවුල්කාරිත්වය යුරෝපීය කලාපය තුළ ශ්‍රී ලාංකීය නිෂ්පාදනවල තරඟකාරිත්වය ඉහළ නැංවීමට මෙන්ම දෙරටේ ආර්ථික සබඳතා වර්ධනයට ද ඉවහල් වනු ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය විශ්වාසය පළ කරයි.

























