ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කරගැනීමේ අරමුණින්, දෙරටේ ජාතික ශිෂ්‍යභට බලකායන් අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට එළඹීමට තීරණය කර තිබේ. දැනටමත් ක්‍රියාත්මක වන තරුණ හුවමාරු වැඩසටහන්වල මූලිකත්වයෙන් මෙම නව ගිවිසුම සකස් කර ඇති අතර, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාවට මේ වන විට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිවී ඇත.මෙමගින් දෙරටේ ශිෂ්‍යභට සාමාජිකයන් සඳහා ඒකාබද්ධ විශේෂ පුහුණු සැසි මෙන්ම නායකත්ව සංවර්ධන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. විශේෂයෙන්ම සාමාජික හුවමාරු වැඩසටහන් පුළුල් කිරීම හරහා දෙරටේ තරුණ පරපුර අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය වර්ධනය කරගැනීමට ප්‍රමුඛතාව ලබා දී තිබේ.මෙම සහයෝගිතා වැඩපිළිවෙළ මඟින් හමුදා පුහුණු අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, ආයතනික මට්ටමින් දෙරටේ සබඳතා වඩාත් ශක්තිමත් කර ගැනීමටත් කදිම අවස්ථාවක් උදා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


























