ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කරන ලද පෙත්සම් විභාගය නිමාවට පත් කර තිබේ. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත කඩිනමින් යොමු කිරීමට නියමිතය.අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණි. එහිදී පනත් කෙටුම්පත අභියෝගයට ලක් කළ පාර්ශ්වයන් මෙන්ම ඊට සහය පළ කරමින් ඉදිරිපත් වූ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු අධිකරණය විසින් ගැඹුරින් සලකා බලන ලදී.පෙත්සම්වලට අදාළ යම් ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට ඇත්නම්, ඒවා හෙට දින පස්වරු 3ට පෙර ගොනු කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් සියලුම පාර්ශ්වකරුවන්ට වැඩිදුරටත් නියෝග කර ඇත.
























