සෞඛ්‍ය අංශ වාර්තා කරන පරිදි, මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගොස් ඇත. ගත වූ කාලසීමාව තුළ රටපුරා වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 63,835ක් වන අතර, ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් පිළිවෙළින් කොළඹ (12,968) සහ ගම්පහ (12,929) දිස්ත්‍රික්කවලින් වාර්තා වේ. මීට අමතරව මාතර, කළුතර, මහනුවර, රත්නපුර සහ ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් ද රෝගීන් වාර්තා වීම හේතුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 142ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා දිවයින පුරා දැවැන්ත ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ රතු කුරුස සංවිධානය ඇතුළු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් අදාළ පරිශ්‍ර පරීක්ෂා කිරීම් අඛණ්ඩව සිදු කෙරේ. මෙහිදී මදුරු කීටයන් බෝ වන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ රතු නිවේදන නිකුත් කිරීම සිදු කෙරේ. උදාහරණයක් ලෙස බණ්ඩාරගම ප්‍රදේශයේදී මදුරු කීටයන් බෝ කළ පුද්ගලයින් 16 දෙනෙකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත.අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති මහනුවර සහ කුරුණෑගල වැනි ප්‍රදේශවල විශේෂ මෙහෙයුම් දියත් කර ඇති අතර, අවිධිමත් ලෙස කසළ බැහැර කරන්නන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇත. බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති මර්දන වැඩසටහනක් නිරීක්ෂණය කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් එක්වූ අතර, එහිදී ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා තාක්ෂණය මගින් මදුරු මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමට ද පියවර ගැණිනි. මහජනතාවගේ ද සහයෝගය ඇතිව මෙම උවදුර පාලනය කිරීමට සෞඛ්‍ය අංශ නිරන්තර උත්සාහයක නිරත වේ.























