පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව, පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙම සිද්ධියේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින සලේ මහතාගේ මෝසම සම්බන්ධයෙන් හෙට (04) දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත මෙලෙස නොතිසි නිකුත් කෙරිණි.මෙරට සමස්ත ආරක්ෂක ඉතිහාසයේ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් පාස්කු ප්‍රහාර මාලාවට අදාළව මේ වන විට පුළුල් විමර්ශන රැසක් ක්‍රියාත්මක වන අතර, හිටපු බුද්ධි ප්‍රධානියා අත්අඩංගුවට පත්වීමත් සමඟ මෙම නීතිමය ක්‍රියාදාමය කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබේ. ඒ අනුව හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත කරුණු දැක්වීමෙන් අනතුරුව, සැකකාර සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් වන ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග තීරණය වීමට නියමිතය.



























