හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු අද බොරැල්ලේදී

ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව අද (20) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. මිය යන විට 63 වන වියෙහි පසු වූ ඒ මහතා, 1986 වසරේදී ශ්‍රී ලංකා පොලිස් සේවයට එක් වූ අතර, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වැඩ තහනමකට ලක්වීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදී. ඉන් අනතුරුව 2020 නොවැම්බර් 27 වනදා ඔහු පොලිස්පති ධුරයට පත් කෙරිණි. 2023 මාර්තු 25 වනදා විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණද, නව පොලිස්පතිවරයෙකු පත් කරන තෙක් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවස්ථා කිහිපයකදීම ඔහුගේ සේවා කාලය දීර්ඝ කරන ලද අතර, ඒ අනුව මාස අටකට ආසන්න අතිරේක කාලයක් ධුරයේ රැඳී සිටි ඔහු 2023 නොවැම්බර් 23 වනදා විශ්‍රාම ගත්තේය.​මේ අතර, හිටපු පොලිස්පති වික්‍රමරත්න මහතා පසුගිය සිකුරාදා වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත් විය. ඔහු තම ආරක්ෂක නිලධාරියාට නිකුත් කර තිබූ ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ඇති බවට පොලිසිය සැක කරන අතර, මෙය සියදිවි නසාගැනීමක් විය හැකි බවටද මත පළ වෙයි. කොළඹ නැඟෙනහිර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා (JMO) විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, මෘත ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසද අධිකරණ වෛද්‍යවරයා නියෝග කර තිබේ.​බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය සහ මාලඹේ පොලිසිය විසින් මේ පිළිබඳව විමර්ශන පවත්වන අතර, වෙඩි තැබීමට භාවිත කළ බවට විශ්වාස කෙරෙන ගිනිඅවියද අධිකරණ වෛද්‍ය විශ්ලේෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත. බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය සඳහන් කරන පරිදි, දැනට ක්‍රියාත්මක විමර්ශනවල කොටසක් ලෙස වික්‍රමරත්න මහතාගේ බිරිඳගෙන් සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,246

Leave A Reply

Your email address will not be published. Required fields are marked *