හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු ප්‍රහාරයකින් සිවිල් වැසියන් පස් දෙනෙකු ජීවිතක්ෂයට

හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී අමෙරිකානු හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. විනාශයට පත් වූ යාත්‍රා හය ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අයත් ඒවා නොව, භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය කළ සිවිල් යාත්‍රා බව තස්නිම් පුවත් ඒජන්සිය සඳහන් කර තිබේ. ඕමාන වෙරළ තීරයේ සිට ඉරානය දෙසට යාත්‍රා කරමින් තිබූ මෙම කුඩා ප්‍රවාහන යාත්‍රා ඉලක්ක කර අමෙරිකාව එල්ල කළ ප්‍රහාරය අදූරදර්ශී ක්‍රියාවක් බවට ඉරාන හමුදා නිලධාරීහු චෝදනා කරති.​මේ සම්බන්ධයෙන් කරුණු දක්වන අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) පවසන්නේ, වාණිජ නෞකාවලට තර්ජනයක් එල්ල කළ ඉරාන යාත්‍රා විනාශ කිරීම සඳහා සී හෝක් සහ ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් යොදාගත් බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකෙරෙන ජාත්‍යන්තර නාවික ගමනාගමනයට බාධා කිරීමට මෙම යාත්‍රා උත්සාහ කළ බව වොෂින්ටනය පවසන අතර, තම හමුදා ක්‍රියාත්මක වූයේ එම තර්ජනය මැඩලීමට බව ඔවුන් අවධාරණය කරයි.​කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පවතින උණුසුම් තත්ත්වය හමුවේ මෙම සිදුවීම වාර්තා වේ. ඉරානය පවසන්නේ අමෙරිකානු හමුදාව තුළ පවතින අනවශ්‍ය භීතිය හේතුවෙන් සාමාන්‍ය වැසියන් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි. කෙසේ වෙතත්, මුහුදු මාර්ගයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගත් බව පවසන අමෙරිකාව, සිවිල් වැසියන් මියගිය බවට වන ඉරාන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

What's your reaction?

Related Posts

1 of 748

Leave A Reply

Your email address will not be published. Required fields are marked *