ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ හුදු විෂයමාලා සංශෝධනයෙන් ඔබ්බට ගිය ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කිහිපයක් කඩිනමින් සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. කොළඹදී පැවැති අනුස්මරණ දේශනයකට එක්වෙමින් ඇය කියා සිටියේ, නිදහස් අධ්‍යාපනයේ සැබෑ අරමුණ හුදෙක් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම පමණක් නොවන බවයි. ඒ වෙනුවට දේශපාලනික සවිඥානිකත්වයකින් යුතු, විවේචනාත්මකව සිතිය හැකි සහ සදාචාරාත්මක පුරවැසියන් බිහිකිරීම එහි අරමුණ විය යුතු බවත්, වර්තමානයේ පවතින කුසලතා නොගැළපීම සහ රාජ්‍ය අංශයේ රැකියා පෝලිම් රටේ ආර්ථික අර්බුදයට තදින්ම බලපා ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.මෙහිදී අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන අර්බුද පහක් අග්‍රාමාත්‍යවරිය විසින් අනාවරණය කරනු ලැබුවා. පාසල් සහ අධ්‍යාපන ආයතන අතර පවතින සම්පත් පරතරය, සමාජ වගකීම් සහිත පුරවැසියන් බිහි නොවීම, කාන්තාවන් ඉහළ අධ්‍යාපනයක් ලැබුවද ශ්‍රම බලකායට දායක වීමේ පවතින අඩුව, කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණික ප්‍රවණතාවලට අනුගත වීමේ ගැටලු සහ අධ්‍යාපනය යනු සහතික ලබාගැනීමේ මෙවලමක් ලෙස පමණක් සැළකීම එම අභියෝගයන් වේ. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය හමුවේ ඩිජිටල් සාක්ෂරතාව සහ මාර්ගගත ආරක්ෂාව (Online Safety) තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව ද ඇය සඳහන් කළාය.අධ්‍යාපනය යනු ලෝකය නිවැරදිව අවබෝධ කරගෙන එය යහපත් අතට පරිවර්තනය කරන ක්‍රියාවලියක් බවයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරන්නේ. එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ගුරු වෘත්තියට හිමි සමාජ ගෞරවය නැවත ලබාදිය යුතු අතර, සමස්ත ප්‍රතිසංස්කරණවල අවසන් ප්‍රතිඵලය විය යුත්තේ රටේ සෑම ක්ෂේත්‍රයකටම විශ්වාසයෙන් යුතුව නායකත්වය දිය හැකි පරිණත පුද්ගලයන් පිරිසක් සමාජයට දායාද කිරීම බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.



























