මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ වුවද, මෙරටට අවශ්‍ය දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ දිවයිනට ළඟා වීමට නියමිතය. ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සඳහන් කරන්නේ මෙය මෑතකදී ඇති වූ යුද ගැටුම්වලින් පසුව මෙරටට පැමිණෙන දෙවන බොරතෙල් තොගය බවයි.ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළේ, මෙම නෞකාව මගින් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක දැවැන්ත ප්‍රමාණයක් රැගෙන එන බවයි. මෙම තොගය මෙරටට ලැබීමත් සමඟ දේශීය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.මෙම නෞකාව පැමිණීමත් සමඟ අප්‍රේල් මාසය සඳහා මෙරටට අවශ්‍ය සමස්ත බොරතෙල් ප්‍රමාණය සම්පූර්ණ වන බව ආචාර්ය නෙත්තිකුමාර මහතා වැඩිදුරටත් තහවුරු කළේය. ඒ අනුව ඉදිරි කාලසීමාව තුළ ඉන්ධන පිරිපහදු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම දැන් සැකසී තිබේ.

























