සමූපකාර ව්‍යාපාරවල 2025 වසරේ කාර්ය සාධනය ඇගයීම සඳහා සංවිධානය කර ඇති “සමුපකාර ඵලදායිතා තරඟාවලිය – 2026” මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සමුපකාර ආයතන විසින් ඉටු කළ සේවාවන් මෙහිදී ඇගයීමට ලක් වන බවයි. ඒ සඳහා අදාළ අයදුම්පත් අගෝස්තු 01 සිට සැප්තැම්බර් 15 දක්වා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත භාරදිය යුතුය.මෙවර තරඟාවලිය විවිධ සේවා සමුපකාර සමිති, ආයතනික සමුපකාර සමිති, ප්‍රාථමික මට්ටමේ සේවා සමිති සහ නිෂ්පාදන සේවා සමිති යන අංශ හතරක් යටතේ ක්‍රියාත්මක වන අතර, ජාතික මට්ටමින් ජයග්‍රාහකයන් තෝරා ගැනීම සඳහා විශේෂ ලකුණු දීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. ඒ අනුව, ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානයට රුපියල් මිලියනයක්ද, දෙවන ස්ථානයට රුපියල් ලක්ෂ පහක් සහ තෙවන ස්ථානයට රුපියල් ලක්ෂ තුනක මුදල් තිළින පිරිනැමෙන අතර, ලබා ගන්නා ලකුණු මට්ටම අනුව රන්, රිදී, ලෝකඩ සම්මාන සහ කුසලතා සහතික ද ප්‍රදානය කෙරේ. කිසියම් සම්මානයක් දිනා ගැනීම සඳහා සෑම ඇගයීම් ක්ෂේත්‍රයකින්ම අවම වශයෙන් 40%ක ලකුණු ප්‍රතිශතයක් ලබා ගැනීම අනිවාර්ය වේ.රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රධාන කුළුණක් වන සමුපකාර ක්ෂේත්‍රය නගාසිටුවීම සඳහා රජය පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 339ක් තුළ විවිධ සේවා සමුපකාර සමිති සහ ණය දෙන සමුපකාර සමිති දස දහසකට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ. පසුගිය වසරේදී සමුපකාර ව්‍යාපාරය වෙනුවෙන් රුපියල් මිලියන 100කට අධික මූල්‍ය ආධාර ලබා දී ඇති රජය, මෙම වසර තුළදී එම ආධාර මුදල රුපියල් මිලියන 600 ඉක්මවා ඉහළ නැංවීමට කටයුතු යොදා ඇත.


























