පසුගිය සිංහල හා දමිළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන්ට ලබාදුන් විශේෂ අතිරේක දීමනාව සැකසීමේදී සිදු වූ තාක්ෂණික දෝෂයක් පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිල පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. මැද පෙරදිග යුධමය තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය ප්‍රකාශයට පත් කළ මෙම විශේෂ දීමනාව, ප්‍රතිලාභී පවුල් ලක්ෂ 17ක් වෙත කඩිනමින් ලබාදීමට කටයුතු කර තිබුණි. එහිදී පද්ධතියෙන් බාහිරව ගෙවීම් ගොනු සකස් කිරීමේදී එක් ගොනුවක් අත්වැරදීමකින් දෙවරක් උඩුගත (Upload) වීම හේතුවෙන් ‘දුප්පත්’ කාණ්ඩයේ පවුල් කිහිපයකට ද්විත්ව ගෙවීම් සිදු වී ඇත.මෙම අත්වැරදීම පිළිබඳව අනාවරණය වූ වහාම ක්‍රියාත්මක වූ මණ්ඩලය, අදාළ බැංකු වෙත දැනුම් දී අතිරික්ත මුදල් යළි මණ්ඩලයේ ගිණුම් වෙත බැර කර ගැනීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත්, අත්හිටුවීමට පෙර ප්‍රතිලාභීන් 49,759 දෙනෙකු සිය ගිණුම්වලින් මුදල් ලබාගෙන ඇති බව තහවුරු වී ඇත. ඒ අනුව ඔවුන් වෙත වැඩිපුර ගෙවන ලද රුපියල් මිලියන 248කට අධික මුදල, එළඹෙන 2026 මැයි මාසයේ අස්වැසුම වාරිකයෙන් අඩු කර ගැනීමට මේ වන විටත් සැලසුම් සකස් කර අවසන්ය.පවතින ගෙවීම් පද්ධතිය (IWMS) හරහා මසකට දෙවරක් ගෙවීම් කිරීමට නොහැකි පසුබිමක් තුළ, උත්සව සමය වෙනුවෙන් මෙම ගෙවීම් කඩිනම් කිරීමට සිදු වීම මෙම තත්ත්වයට හේතු වී ඇත. එබැවින් මෙම ද්විත්ව ගෙවීම් සිදුවීම මූල්‍ය අක්‍රමිකතාවක් හෝ රජයට සිදුවූ මූල්‍ය පාඩුවක් ලෙස අර්ථ නිරූපණය නොකරන ලෙසත්, සියලු කටයුතු විනිවිදභාවයකින් යුතුව කළමනාකරණය කර ඇති බවත් මණ්ඩලය අවධාරණය කරයි.රජයේ නිසි මැදිහත්වීම මත සියලු මුදල් නැවත අය කර ගැනීමට පියවර ගෙන ඇති බැවින් මහජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නැත. අස්වැසුම වැඩසටහන හරහා සුදුසුකම් සහිත සියලු ප්‍රතිලාභීන් වෙත නියමිත දීමනා කිසිදු බාධාවකින් තොරව ඉදිරියටත් ලබා දීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කැපවී සිටියි.

























