ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි ඉහළම තනතුරක් වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) ධුරය නිල වශයෙන් අවසන් කිරීම සඳහා සකස් කරන ලද විශේෂ පනත් කෙටුම්පතක් රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යවරයාගේ සෘජු උපදෙස් හා නියෝග පරිදි සකස් කරන ලද මෙම කෙටුම්පත පසුගිය මැයි මස 15 වැනිදා මෙලෙස ප්‍රසිද්ධියට පත් කර ඇත. මෙමඟින් දැනට ක්‍රියාත්මක 2009 අංක 35 දරණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට සහ ඊට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීමට නියමිතය.“2026 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමේ පනත” ලෙස නම් කර ඇති මෙම නව නීතිමය ලේඛනය පාර්ලිමේන්තුවේදී සම්මත වී ක්‍රියාත්මක වන දිනයේ සිට එම ධුරය නිල වශයෙන් අහෝසි වී යනු ඇත. එමෙන්ම, පනත බලාත්මක වන අවස්ථාවේදී අදාළ තනතුර දරනු ලබන නිලධාරියා, ඔහු මීට පෙර ස්ථිර සේවයේ නිරතව සිටි මව් සන්නද්ධ හමුදා බලඇණිය (යුද, නාවික හෝ ගුවන් හමුදාව) වෙත නැවත අනුයුක්ත කිරීමට ද මෙහි ප්‍රතිපාදන සලසා තිබේ.මෙම ව්‍යුහාත්මක වෙනස්කම සිදු වීමත් සමඟ, දැනට පවතින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය සතු සියලුම චංචල සහ නිශ්චල දේපළ මෙන්ම සම්පත්, ආරක්ෂක විෂය භාර අමාත්‍යංශය වෙත සෘජුවම පවරා දිය යුතු බව ද අදාළ පනත් කෙටුම්පත මඟින් වැඩිදුරටත් දක්වා ඇත. මෙම පියවර හරහා මෙරට ආරක්ෂක ක්ෂේත්‍රයේ ඉහළ පරිපාලන ව්‍යුහයේ සැලකිය යුතු වෙනසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

























