ඇමරිකාව සහ ඉරානය අතර ඓතිහාසික සාම එකඟතාවක්

ඇමරිකාව සහ ඉරානය අතර ස්ථිර සාම ගිවිසුමකට එළඹ ඇති බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මහතා නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. සිය ‘X’ සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ දෙපාර්ශවය අතර පැවැති දීර්ඝ හා දැඩි සාකච්ඡාවලින් අනතුරුව මෙම ඓතිහාසික එකඟතාවයට පැමිණි බවයි. මෙම සාම සාකච්ඡා සඳහා පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන මැදිහත්කරු ලෙස කටයුතු කර ඇති අතර, ගිවිසුමට අත්සන් තැබීමේ නිල උත්සවය ලබන ජූනි 19 වැනිදා ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.​නව එකඟතාවන්ට අනුව ලෙබනනය ඇතුළු සියලුම පෙරමුණුවල ක්‍රියාත්මක මිලිටරි මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථිරවම අත්හිටුවීමට දෙපාර්ශවයම එකඟ වී ඇති බව සඳහන්. පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සත්‍යයක් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ද තහවුරු කර තිබෙනවා. ඔහු සිය ‘ටෲත් සෝෂල්’ (Truth Social) ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ඉරානය සමඟ ඇති කරගත් එකඟතාව මේ වන විට සම්පූර්ණ කර ඇති බවයි.​මෙම සාමකාමී වාතාවරණයත් සමඟ ජාත්‍යන්තර මුහුදු මාර්ගයන්හි ආරක්ෂාව තහවුරු කෙරෙන අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය සඳහා ද පූර්ණ අවසරය හිමි වනවා. ඇමරිකානු නාවික හමුදාව විසින් පනවා තිබූ මුහුදු අවහිරතා වහාම ඉවත් කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මෙම පියවර ගෝලීය වෙළඳාමට මෙන්ම මැදපෙරදිග කලාපීය ස්ථාවරත්වයට ද ඉතා වැදගත් බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 810

Leave A Reply

Your email address will not be published. Required fields are marked *