ඩෙංගු මර්දනය සඳහා විශේෂ ජාතික සතියක් ඇරඹෙයි

දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම් සීඝ්‍රයෙන් ඉහළ යාම සහ පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන්, වසංගත තත්ත්වයක් පාලනය කිරීමේ අරමුණින් අද (15) සිට ජුනි 20 වනදා දක්වා ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සාමාන්‍යයෙන් සතියකට වාර්තා වන රෝගීන් දහසේ සීමාව ඉක්මවා යමින් පවතින මෙම දැඩි අවදානම හමුවේ රාජ්‍ය පරිපාලන, සෞඛ්‍ය, ජනමාධ්‍ය, අධ්‍යාපන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන කිහිපයක් සහ පොලිසිය එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. මේ සම්බන්ධයෙන් පළාත් නවයේම ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සූම් සාකච්ඡාවක් ද පවත්වා තිබේ.​මෙම විශේෂ සතිය තුළ දින වෙන් කරමින් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ සියලු පරිශ්‍රයන් පරීක්ෂාවට ලක් කෙරේ. ඒ අනුව ජුනි 15 සිට 17 දක්වා පොදු ස්ථාන, නගර, කාණු පද්ධති සහ ආගමික ස්ථාන පිරිසිදු කිරීමට නියමිතයි. ජුනි 18 වනදා පාසල් ඇතුළු අධ්‍යාපන ආයතනත්, ජුනි 19 වනදා රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්තශාලා පරිශ්‍රයන් ද ශුද්ධ පවිත්‍ර කිරීමට කටයුතු යොදා ඇත.​වැඩසටහනේ අවසන් දිනය වන ජුනි 20 වන සෙනසුරාදා දින සියලුම පෞද්ගලික නිවාස සහ ඒ අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීමට වෙන් කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මේ මොහොතේ රෝග ව්‍යාප්තිය පාලනය නොකළහොත් දැඩි සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුවන බැවින්, තම තමන්ගේ වටපිටාවන් පිරිසිදුව තබා ගනිමින් මෙම මර්දන වැඩපිළිවෙළට උපරිම සහයෝගය දක්වන ලෙසයි.

What's your reaction?

Related Posts

1 of 1,189

Leave A Reply

Your email address will not be published. Required fields are marked *