ඉන්දුනීසියාවේ පිහිටි ප්‍රසිද්ධ ‘අනක් ක්‍රකටෝවා’ (Mount Anak Krakatau) ගිනි කන්ද හදිසියේ සක්‍රිය වීමත් සමඟ වායුගෝලයට මුදාහැරුණු ඝන අළු ධූලි වලාකුළු හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් රැසකට බාධා එල්ල වී තිබේ. මෙම හදිසි තත්ත්වය මත ජකර්තා නුවර ප්‍රධාන ගුවන් තොටුපළ ඇතුළු එරට ගුවන් තොටුපළ කිහිපයක මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත.මෙම ස්වභාවික ව්‍යසනයත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් වාර කිහිපයක් ද ආරක්ෂාව සලකා අවලංගු කර තිබෙන බව වාර්තා වේ. ඒ අනුව අද (07) දින ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ කොළඹ සිට ජකර්තා බලා පියාසර කරන UL 364 දරන ගුවන් වාරය මෙන්ම, ජකර්තා සිට යළි කොළඹ පැමිණීමට තිබූ UL 365 ගුවන් වාරය ද මේ යටතේ සම්පූර්ණයෙන් අත්හිටුවා ඇත.ගිනි කන්දෙන් හටගත් අළු ස්තරය ගුවන් ගමන්වලට දැඩි අවදානමක් ගෙන දීම නිසා මෙම තීරණය ගෙන ඇති අතර, තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තෙක් අදාළ ගුවන් මාර්ගවල ගමනාගමන කටයුතු සීමා කර තිබේ. ගුවන් මගීන්ට සිදුවන අපහසුතා අවම කර ගැනීම සඳහා අදාළ ගුවන් සමාගම් විසින් අවශ්‍ය සහන සහ විකල්ප සේවාවන් ලබා දීමට මේ වන විට කටයුතු යොදමින් පවතී.



























