උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, අභිසම්බුද්ධත්වය සහ මහා පරිනිර්වාණය යන තෙමඟුල සනිටුහන් වන, ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. ප්‍රඥාව සහ කරුණාව පදනම් කරගත් උතුම් දහමක් ලොවට දායාද කළ තිලෝගුරු බුදුන් වහන්සේ, සංසාර ගමනේ අවසන් භවයේදී සිද්ධාර්ථ කුමාරයා ලෙස ලුම්බිණි සල් උයනේදී උපත ලැබුවේද මෙවන් පොහෝ දිනකයි.​ශාසන ඉතිහාසයට අනුව බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය පතා ප්‍රථම වරට නියත විවරණ ලබා ඇත්තේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය. ඉන් අනතුරුව වසර හයක් මුළුල්ලේ අප්‍රමාණ වෙහෙසක් දරමින් දුෂ්කරක්‍රියා කළ උන්වහන්සේ, බුද්ධගයාවේ ඇසතු බෝ රුක මුලදී දසමාර සේනාව පරදවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් ලොව්තුරා බුද්ධත්වයට පත් වූහ.​ලෝකයාට සසර දුකින් මිදීමේ සදහම් මාවත පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ, වසර 45ක් පුරා ලෝක සත්ත්වයා වෙත මහා කරුණාවෙන් දහම් දෙසූහ. පසුව කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනේදී උන්වහන්සේ අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පරිනිර්වාණයට පත්වූයේද අද වැනි උතුම් වෙසක් පෝය දිනකදීය.​මේ අතර ලක්වැසි බෞද්ධයන්ටද වෙසක් දිනය අතිශය වැදගත් වේ. බුද්ධත්වයෙන් අටවන වසරේදී බුදුරජාණන් වහන්සේ කැලණි පුරවරයට වැඩම කළේ වෙසක් පොහෝ දිනකයි. එසේම ශ්‍රී ලංකාව එක්සේසත් කළ දුටුගැමුණු මහරජතුමා රුවන්වැලි මහා සෑයේ වැඩකටයුතු ආරම්භ කිරීම සහ ඒ සඳහා භූමිය සකස් කිරීම යන ඓතිහාසික සිදුවීම් ද්විත්වයම සිදුව ඇත්තේද වෙසක් පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 1,164

Leave A Reply

Your email address will not be published. Required fields are marked *