ලබන මාසයේ පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස ඉල්ලමින් සිසුන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳ අධිකරණ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. පළමු සහ දෙවන වරට විභාගයට පෙනී සිටින සිසුන් නව දෙනෙකු විසින් මෙම නඩු කටයුත්ත ගොනු කර තිබූ අතර, අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මීට පෙර එය සලකා බලනු ලැබීය.පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, දිට්වා සුළි කුණාටුව සහ ඉන්ධන අර්බුදය වැනි හේතු මත රජය විසින් පාසල් නිවාඩු ලබාදීම නිසා අනිවාර්ය පාසල් දින සංඛ්‍යාව සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බවයි. එම නිසා සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට බාධා සිදුවී ඇති බැවින් විභාගය කල් දමන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ.වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න සඳහන් කළේ, ඉදිරි විභාගය සඳහා සිසුන් 378,000කට වැඩි පිරිසක් ලියාපදිංචි වී ඇති පසුබිමක, ඉන් සිසුන් නව දෙනෙකු පමණක් මඟින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි. තවද, පෙත්සම්කරුවකුගේ පාසල් පැමිණීම සටහන්ව ඇත්තේ සියයට 7.2ක් වැනි අවම අගයක බැවින්, ඔවුන් අධිකරණයට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවන බව ඔහු තරයේ කියා සිටියේය.විභාගය කල් දැමීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ කටයුතු ඇතුළු සමස්ත අධ්‍යාපන පද්ධතියටම දැඩි බලපෑම් සහ අගතියක් සිදුවන බවද සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය. දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ දීර්ඝ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල, පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙනවාද යන්න පිළිබඳ නියෝගය අද දිනයේ නිකුත් කිරීමට තීරණය කළේය.අධ්‍යාපන අමාත්‍යවරිය, අමාත්‍යාංශ ලේකම්වරයා සහ විභාග කොමසාරිස් ජෙනරාල්වරිය ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත.























