අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සූදානම් වීම සඳහා ලැබෙන කාලය මාස තුනකින් කප්පාදු කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව “සුරකිමු දරුවන් පණමෙන්” ජාතික ක්‍රියාන්විතය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. පවතින රාජ්‍ය චක්‍රලේඛ උල්ලංඝනය කරමින් විභාගය පැවැත්වීමට කටයුතු කිරීම තුළින් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය මෙන්ම විභාගයට සූදානම් වීමට ඇති සාධාරණ කාලය ද අහිමි වන බව එම සංවිධානය පෙන්වා දෙයි.මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා, අගමැතිවරයා, අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු අංශ දැනුවත් කළ ද ඉන් කිසිදු ඵලක් නොවූ බව “සුරකිමු දරුවන් පණමෙන්” සංවිධානයේ සභාපති ප්‍රියන්ත හේරත් මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලට ද නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙලෙස ජාත්‍යන්තර ආයතනයක සහාය පැතීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.මෙරට දරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් මැදිහත් වන ලෙස ඉල්ලා සිටින එම සංවිධානය, සිසුන්ට සිදුව ඇති මෙම අසාධාරණය පිළිබඳව සොයා බලා අදාළ බලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියි.



























