එල්නිනෝ බලපෑම 2027 අප්‍රේල් දක්වා පැවතීමේ අවදානමක්

දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙන්නේ, නැගෙනහිර පළාතේ මෙන්ම මොනරාගල සහ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල උණුසුම් ස්වභාවය ඉහළ ගොස් ඇති බැවින්, එළිමහනේ ගැවසීමේදී ජලය පානය කිරීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසයි.​මේ වන විට රට තුළ නිරිතදිග මෝසම් තත්ත්වය ක්‍රියාත්මක වුවද, ඉදිරි දින කිහිපය තුළ සමස්ත වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කෙරෙන අතර උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සැප්තැම්බර් දක්වා වියළි කාලගුණයක් පවතිනු ඇත. කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ලැබිය හැකි අතර, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට තරමක තද සුළං තත්ත්වයක්ද බලාපොරොත්තු විය හැකිය.​මෙම වියළි හා උණුසුම් කාලගුණයට ප්‍රධාන හේතුවක් වී ඇති ‘එල්නිනෝ’ තත්ත්වය ඉදිරි මාසවලදී තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති අතර, එහි බලපෑම 2027 අප්‍රේල් මාසය දක්වාම දිගටම පැවතීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. වසරේ අවසාන භාගයේදී වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි වුවද, එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ලබන වසරේ මුල් කාර්තුව තුළ යළිත් වර්ෂාව අඩුවීමේ ප්‍රවණතාවක් මතුවිය හැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,283

Leave A Reply

Your email address will not be published. Required fields are marked *