ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2026 ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර ඊයේ (29) රාත්‍රියේ අති උත්කර්ෂවත් අයුරින් වීථි සංචාරය කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගී විය.පෙරහර වීථි සංචාරය කිරීමටපෙර ඊයේ පස්වරුවේ ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක සහ කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.අනතුරුව කිරිවෙහෙර අභියස පැවති ආගමික වතාවත්වලට එක් වූ ජනාධිපතිවරයා, හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමේ පූජනීය අවස්ථාවට ද දායක විය.එමෙන්ම, කිරිවෙහෙර පරිශ්‍රයේ නව විදුලි ආලෝක පද්ධතිය විවෘත කිරීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ සුරතින් සිදු කෙරිණි.පසුව දහස් සංඛ්‍යාත සැදැහැවත් ජනතාවක් සමඟ එක්ව ජනාධිපතිවරයා පෙරහර නැරඹීමට එක් වූ අතර, අනතුරුව පැවති උත්සව සභාව ඇමතීම ද සිදු විය.එහිදී අදහස් දැක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, විද්‍යාව හා තාක්ෂණය කොතරම් දියුණු වුවද රටක් ඉදිරියට යා යුත්තේ තමන්ගේ ඓතිහාසික සංස්කෘතික පදනම ආරක්ෂා කර ගනිමින් බවයි.මහපොළොව සමඟ ඇති ඓන්ද්‍රීය සබඳතාව බිඳ වැටුණහොත් රටක් පාවෙන සමාජයක් බවට පත්වන බවත්, සංස්කෘතික උරුමයන් සමග අවිච්චින්නව පැවතීම සමාජයක පැවැත්මට අත්‍යවශ්‍ය වන බවත් ඔහු අවධාරණය කළේය.මෙම ඓතිහාසික පෙරහර මංගල්‍යය සඳහා උතුරේ දෙමළ ජනතාව පාද යාත්‍රාවෙන් පැමිණීම මෙන්ම මුස්ලිම් ජනතාව ද එක්වීම තුළින් මෙරට ජාතික අනන්‍යතාව මෙන්ම ජාතික සමගිය මනාව පිළිබිඹු වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.උත්සවය අතරතුරදී පෙරහර සමාප්ති ප්‍රකාශන සන්නස් පත්‍රය ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් වෙත පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විශාල සැදැහැවත් ජනකායක් එක්ව සිටියහ.


























