අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය මුල් කරගනිමින් සිදුකෙරෙන පරීක්ෂණවල ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (22) නියෝග කර තිබේ.මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මරණකරුගේ දුරකථනය සම්බන්ධයෙන් මේ දක්වා කර ඇති විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව තම සෑහීමකට පත් විය නොහැකි බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඊට ප්‍රතිචාර දක්වමින් පොලිසිය සඳහන් කළේ, අදාළ දුරකථන දත්ත ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව හරහා අදාළ ආයතන දැනුවත් කර ඇති බවයි.මීට පෙර නඩු වාරයකදී ද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ අදාළ ජංගම දුරකථන තොරතුරු ලබා ගැනීම පිණිස ඇපල් (Apple) සමාගම වෙත විශේෂ ඉල්ලීමක් යොමු කර ඇති බවයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වන ඉදිරි නඩු විභාගය ලබන 19 වැනි දින යළි කැඳවීමට නියමිතව තිබේ.























