කලාපීය නොසන්සුන්තාව හමුවේ මගීන් වෙනුවෙන් එමිරේට්ස් ගුවන් සේවයෙන් විශේෂ රක්ෂණාවරණයක්

කලාපීය ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් ඇති වී තිබෙන අවිනිශ්චිතතාව මඟහරවා, ඩුබායි වෙත සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා විශේෂ රක්ෂණ සහතිකයක් හඳුන්වා දීමට එමිරේට්ස් ගුවන් සේවය පියවර ගනිමින් සිටී. ‘ඩේලි මේල්’ පුවත්පතට අනුව, ගුවන් ප්‍රවේශපත් සමඟ අමතර සේවාවක් ලෙස සාධාරණ මිලකට ලබා දිය හැකි මෙම රක්ෂණාවරණය පිළිබඳව මේ වන විට රක්ෂණ සමාගම් සමඟ සාකච්ඡා පැවැත්වේ. ඕනෑම හදිසි අර්බුදයකදී මගීන්ට තම මව් රට බලා ආරක්ෂිතව යාමට අවශ්‍ය පහසුකම් මින් සහතික කෙරෙන අතර, අවශ්‍ය වුවහොත් වෙනත් ගුවන් සේවා හරහා හෝ මගීන් ආපසු ගෙන්වා ගැනීමට අදාළ සැලසුම් සකස් කෙරෙන බව එහි සභාපති ටිම් ක්ලාක් මහතා පවසයි.​පවතින බලපෑම හේතුවෙන් ඩුබායි සංචාරක ව්‍යාපාරයට දිනකට පවුම් මිලියන 450ක පමණ පාඩුවක් සිදු වන අතර හෝටල් සහ ව්‍යාපාර ද අර්බුදයකට ලක්ව ඇත. කෙසේ වුවද, ගෝලීය අවදානම් නිවේදන මධ්‍යයේ වුව ද ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා තවමත් දිනකට මගීන් 40,000ක් පමණ ගමන් කරති. මූල්‍යමය වශයෙන් එමිරේට්ස් ගුවන් සේවය යුද්ධයට පෙර පැවති සිය ගුවන් ජාලයෙන් 80%ක් පමණ යළි යථා තත්ත්වයට පත් කර ඇති අතර, මාර්තු මාසයෙන් අවසන් වූ වසර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 6.3ක ලාභයක් ද වාර්තා කර තිබේ. කලාපීය ගැටුම් නොවන්නට එම ලාභය ඩොලර් බිලියන 7ක් වීමට ඉඩ තිබූ බව ද සඳහන් වේ.​ඉන්ධන මිල දෙගුණයකින් ඉහළ ගිය ද, තම සමාගම පවතින අර්බුදයට සාර්ථකව මුහුණ දෙමින් සිටින බවත් Airbus A380 ගුවන් යානා අඛණ්ඩව මෙහෙයුම් සඳහා යොදා ගන්නා බවත් සභාපතිවරයා අවධාරණය කරයි. බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් මගී සංඛ්‍යාව යළි වර්ධනය වෙමින් පවතින බැවින්, මෙම නව රක්ෂණ ක්‍රමවේදය හරහා සංචාරකයින්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට හැකි වනු ඇතැයි ගුවන් සේවය විශ්වාසය පළ කරයි.

What's your reaction?

Related Posts

1 of 805

Leave A Reply

Your email address will not be published. Required fields are marked *