විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් 2026 උසස් පෙළ කල් දමන්නැයි සිසුන්ගෙන් ඉල්ලීමක්

ලබන අගෝස්තු 10 වන දින පැවැත්වීමට නියමිත 2026 අ.පො.ස. උසස් පෙළ විභාගය අවම වශයෙන් මාස දෙකක කාලයකින්වත් කල් දමන ලෙස ඉල්ලමින් විභාග අපේක්ෂකයින් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව වෙත සිය ඉල්ලීම් ඉදිරිපත් කර සිටිති. පවත්නා සීමිත කාල රාමුව තුළ සමස්ත විෂය නිර්දේශයන් සම්පූර්ණයෙන් ආවරණය කිරීමට මෙතෙක් නොහැකි වී ඇති බව සිසුන් පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් උසස් පෙළ විෂය මාලාවක් නිම කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් හිමිවිය යුතු වුව ද, නව ස්ථාවර කාලසටහන (Fixed Schedule) හේතුවෙන් තමන්ට ලැබී ඇත්තේ මාස 21ක් වැනි කෙටි කාලසීමාවක් බව ඔවුහු පවසති.​පෙර පැවති කණ්ඩායම් සඳහා අධ්‍යයන කටයුතු වෙනුවෙන් මාස 27 සිට 31 දක්වා දීර්ඝ කාලයක් හිමිව තිබූ පසුබිමක, මෙවර තමන්ට පමණක් මාස 21කින් සමස්ත ලංකා මට්ටමේ තරඟකාරී විභාගයකට මුහුණ දීමට සිදුවීම අසාධාරණ බව සිසුන්ගේ අදහසයි. පාසල් වාර සටහන් වෙනස් වීම, විවිධ නිවාඩු මෙන්ම අයහපත් කාලගුණය ද මීට බලපා ඇත. එමෙන්ම, පසුගිය විභාගයේ ප්‍රතිඵල මාර්තු 31 වන දින නිකුත් වීම නිසා, නැවත විභාගයට පෙනී සිටින සිසුන්ට සූදානම් වීම සඳහා ඉතිරිව ඇත්තේ මාස හතරකට ආසන්න සීමිත කාලයක් පමණක් බව ද ඔවුහු සඳහන් කරති.​පවතින තත්ත්වය මත විෂය කරුණු නිසි පරිදි ධාරණය කරගැනීමට හෝ පුනරීක්ෂණ කටයුතු සිදු කිරීමට මෙතෙක් කිසිදු ඉඩකඩක් ලැබී නොමැති බව සිසුන් වැඩිදුරටත් කියා සිටියි. තමන් කිසිදු දේශපාලන වාසියක් බලාපොරොත්තු නොවන බවත්, සිසුන්ගේ අනාගතය සහ මානසික සෞඛ්‍යය පිළිබඳ සානුකම්පිතව සලකා බලා විභාගය මාස දෙකකින්වත් ප්‍රමාද කර සහනයක් සලසන ලෙසත් සිසුන් සහ දෙමාපියන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

What's your reaction?

Related Posts

1 of 1,184

Leave A Reply

Your email address will not be published. Required fields are marked *