ඉන්දියාවේ සේරම් ආයතනය සහ ගේට්ස් වෛද්‍ය පර්යේෂණ ආයතනය එක්ව ක්ෂය රෝගය පාලනය කිරීම සඳහා නව එන්නතක් නිපදවීමට ගිවිසුම්ගත වී තිබේ. ලොව පුරා වාර්ෂිකව මිලියනයකට අධික ජීවිත බිලිගන්නා ක්ෂය රෝගය වර්තමානයේ පවතින ප්‍රධානතම සෞඛ්‍ය අභියෝගයක් වන අතර, දැනට භාවිතයේ ඇති වසර 100ක් පැරණි BCG එන්නතෙහි කාර්යක්ෂමතාව වැඩිහිටියන් සම්බන්ධයෙන් සීමිත වීම මෙම නව පියවරට මූලික හේතුව වී ඇත.මෙම හවුල්කාරිත්වය හරහා එන්නතෙහි තෙවැනි අදියරේ සායනික පරීක්ෂණ සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නිෂ්පාදන ශක්තිය සේරම් ආයතනය විසින් සපයනු ලබයි. ආසියානු සහ අප්‍රිකානු රටවල් කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිත මෙම පරීක්ෂණ හරහා එන්නතෙහි සාර්ථකත්වය තහවුරු කර ගැනීමට අපේක්ෂා කෙරේ.එන්නත සාර්ථක වුවහොත්, එම එන්නත් මිලියන ගණනක් නිෂ්පාදනය කර අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට ඉතා අඩු පිරිවැයකින් ලබාදීමේ වගකීම සේරම් ආයතනය විසින් භාරගෙන තිබේ. ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කිරීමට මෙම ව්‍යාපෘතිය ඉවහල් වනු ඇති බවටයි සෞඛ්‍ය විශේෂඥයින් විශ්වාසය පළ කරන්නේ.























