කාන්තා සහ ළමුන්ගේ පෞද්ගලික ඡායාරූප මෙන්ම ලිංගික අන්තර්ගතයන් සමාජ මාධ්‍ය සමූහ හරහා මුදලට හුවමාරු කර ගැනීමේ සහ අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇත. මේ පිළිබඳව කාන්තා හා දරුවන්ගේ කටයුතු අමාත්‍යාංශය විසින් බලධාරීන් දැනුවත් කර ඇති අතර, මූලික විමර්ශනවලින් අනතුරුව එකතු කරගත් දත්ත වැඩිදුර පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා පොලිස් කාන්තා හා දරුවන්ගේ කාර්යාංශය සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී තිබේ.මෙම ජාවාරම සඳහා ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් බහුලව භාවිත කර ඇති බවත්, ඇතැම් අවස්ථාවල පුද්ගලයන් තම පවුල්වල සාමාජිකයන්ට පවා නොදන්වා ඔවුන්ගේ පෞද්ගලික ද්‍රව්‍ය මෙම ජාල වෙත මුදා හැරීමට උත්සාහ කර ඇති බවත් මඟින් හෙළි වී ඇත. බහුතරයක් මෙම ජාල විදේශීය රටවල සිට ක්‍රියාත්මක වන බවට පෙනී ගොස් ඇති බැවින්, අන්තර්ජාලය තුළ මෙවැනි අවදානම් සහගත තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇත.එබැවින්, දරුවන්ගේ අන්තර්ජාල භාවිතය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් අදහස් හුවමාරු කරන පුද්ගලයන් පිළිබඳව දැඩි නිරීක්ෂණයකින් පසු වන ලෙස දෙමාපියන්ට දැඩිව අවවාද කෙරේ. යම් හෙයකින් පවුලේ සාමාජිකයෙකු මෙවැනි අකටයුත්තකට මුහුණ දී ඇත්නම් හෝ ඊට සම්බන්ධ වී ඇතැයි සැකයක් පවතී නම්, 1938 හෝ 1929 යන හදිසි ඇමතුම් අංක ඔස්සේ අදාළ සහය ලබාගන්නා ලෙස බලධාරීන් දන්වා සිටියි.



























