කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නිපුණතා සංවර්ධන නිලධාරියා ඇතුළු සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම මහව මහේස්ත්රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න මහත්මිය යළි ප්රතික්ෂේප කළාය. ඒ අනුව සැකකරුවන් දෙදෙනා දෙසැම්බර් 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.එදිනට පැමිණිල්ල මෙහෙයවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අධිකරණයට පැමිණෙන ලෙස නියෝග කළ මහේස්ත්රාත්වරිය, හස්තියාගේ වෙළෙඳපොළ වටිනාකම පිළිබඳ රජයේ තක්සේරු දෙපාර්තමේන්තු වාර්තාවක් සහ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මීළඟ නඩු දිනයේදී ගොනු කරන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවට නියම කළාය.හස්තියා මියයාම ගල්ගමුව මහේස්ත්රාත් අධිකරණයේත්, වෙඩි තැබීම මහව මහේස්ත්රාත් අධිකරණයේත් විභාග වීම නීතිමය ගැටලුවක් බව පෙන්වා දුන් මහේස්ත්රාත්වරිය, නඩු දෙක එකම අධිකරණයක පවත්වාගෙන යාම ගැන නීතිපති උපදෙස් ලබාගන්නා ලෙස වනජීවී නිලධාරීන්ට උපදෙස් දුන්නාය.



























