අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් කොළඹ නගරයේ පදිංචිකරුවන් විශාල වශයෙන් බැහැරව යාම නිසා මේ දිනවල දිස්ත්‍රික්කයේ ජල ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. පවතින වියළි කාලගුණය සැළකිල්ලට ගෙන පසුගිය අප්‍රේල් 02 වැනිදා සිට හෝමාගම සහ පාදුක්ක ඇතුළු ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වූ කාලසටහනකට අනුව සිදුකළ ජල කප්පාදුව, උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් 11 වැනිදා සිට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි. මෙම තත්ත්වය මගී ජනතාවට සහ නිවෙස්වල රැඳී සිටින පිරිස්වලට විශාල සහනයක් වී ඇත.කෙසේ වෙතත්, උත්සව නිවාඩුවෙන් පසු ජනතාව යළි කොළඹට පැමිණීමත් සමඟ ඇතිවිය හැකි ඉල්ලුම සහ පවතින ජල මට්ටම් පිළිබඳව විශේෂ සමාලෝචනයක් ලබන 19 වැනිදා සිදු කිරීමට නියමිතය. ඉන් අනතුරුව යළිත් කාලසටහනකට අනුව ජලය සැපයීම සිදු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණය දැනුම් දෙන බව මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මෙතෙක් ස්ථිර ජල කප්පාදුවක් ගැන තීරණය කර නොමැති වුවද, පවතින සීමිත ජල සම්පත අරපිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.























