මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය හමුවේ උද්ධමනය ඉහළ යාමේ අවදානම සැළකිල්ලට ගනිමින්, ජපාන මහ බැංකුව (BOJ) සිය මූලික පොලී අනුපාත සංශෝධනය කිරීමට සැරසෙයි. රොයිටර් පුවත් සේවය සිදුකළ නවතම සමීක්ෂණයකට අනුව, එරට මූලික පොලී අනුපාතය ජුනි මාසය අවසාන වන විට 1.00% දක්වා ඉහළ දැමීමට නියමිත බව අනාවරණය වී ඇත. මෙම සමීක්ෂණයට එක්වූ ආර්ථික විශේෂඥයින්ගෙන් බහුතරයකගේ මතය වී ඇත්තේ ලෝක දේශපාලනික අස්ථාවරත්වය හමුවේ ජපානය මෙම දැඩි තීරණය කරා එළඹෙනු ඇති බවයි.විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි, එළඹෙන අප්‍රේල් 27-28 දෙදින තුළ පැවැත්වීමට නියමිත මූල්‍ය ප්‍රතිපත්ති රැස්වීමේදී හෝ ඉන් අනතුරුව ජුනි මාසයේදී මෙම වෙනස ක්‍රියාත්මක වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී. විශේෂයෙන්ම මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ඉහළ යාම ජපානයේ දේශීය මිල මට්ටම් කෙරෙහි එල්ල කරන පීඩනය පාලනය කිරීම මහ බැංකුවේ මූලික අරමුණ වී තිබේ. මේ හේතුවෙන් ඉදිරියේදී නිකුත් කෙරෙන මූල්‍ය උපදෙස් (Forward Guidance) සීමා කිරීමට ද බලධාරීන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.මෙම හදිසි ප්‍රතිපත්තිමය වෙනස ලෝක වෙළඳපොළ කෙරෙහි ද සෘජු බලපෑමක් එල්ල කළ හැකි බව ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවති. ජපානය වැනි ප්‍රමුඛ ආර්ථිකයක් හිමි රටක් සිය පොලී අනුපාත ඉහළ දැමීම හරහා ආයෝජන රටාවන්ගේ වෙනසක් සිදුවිය හැකි අතර, එය ජපාන යෙන් මුදල් ඒකකයේ අගය කෙරෙහි ද බලපානු ඇත. පවතින අවිනිශ්චිත ආර්ථික වටපිටාව තුළ මිල මට්ටම් ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ජපාන මහ බැංකුව ගන්නා මෙම ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
























