කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය සහ අගනුවර බෞද්ධ හා සුබසාධක සංගම් එකමුතුව විසින් සංවිධානය කරන ලද 26 වැනි වාර්ෂික පිණ්ඩපාත චාරිකාව ඊයේ (28) පෙරවරුවේ ආරම්භ විය. දිවයිනේ දුෂ්කර ප්‍රදේශවල පිරිවෙන් සහ දහම් පාසල්හි දරුවන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් ආධාර රැස්කිරීමේ අරමුණින් මෙම පුණ්‍යකර්මය වාර්ෂිකව සිදු කරනු ලබයි.මෙවර ද මහා සංඝරත්න නමක් පන්සියයක පමණ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම පිණ්ඩපාත චාරිකාව ජනාධිපති කාර්යාලය වෙත වැඩම කළ අවස්ථාවේදී, මහා සංඝරත්නය වෙත පිරිකර පූජා කිරීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය එක්වූහ.කොළඹ කොටුව ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නියෝජනය කරමින් විශාල පිරිසක් මග දෙපස රැස්වී වැඩම කළ මහා සංඝරත්නයට දානය සහ පිරිකර පූජා කිරීමට කටයුතු කළහ. මෙම අවස්ථාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, අතිරේක ලේකම්වරුන් වන කේ. එම්. එන්. කුමාරසිංහ සහ ප්‍රසන්න චන්දිත් යන මහත්වරුන් ඇතුළු ජනාධිපති කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගී වූහ.

























