වත්මන් ජල ගාස්තු සංශෝධනයක් අවශ්‍යද යන්න පිළිබඳව එළැඹෙන ජූනි 30 වැනිදා සිදුකරන විශේෂ සමාලෝචනයකින් පසු තීරණය කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව පත්වීම්ලාභීන් සඳහා ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයකින් අනතුරුව අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සනාථ කළේය. වසරේ පළමු මාස හය තුළ ගාස්තු වෙනසක් නොකරන බවට වූ කැබිනට් තීරණයට අනුව, ජනවාරි සිට ජූනි දක්වා වැයවූ මෙහෙයුම් පිරිවැය පිළිබඳව එහිදී දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීමට නියමිතය.මෑතකදී සිදුකෙරුණු විදුලි බිල ඉහළ දැමීම ජල පිරිපහදු හා සැපයුම් කටයුතුවලට යම් බලපෑමක් එල්ල කළද, එය ජල ගාස්තු කෙරෙහි බලපාන්නේ ඉතා අවම මට්ටමකින් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ වන විට පවතින ගාස්තු ක්‍රමය මඟින් මණ්ඩලයේ එදිනෙදා මෙහෙයුම් වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් ශක්තියක් පවතින බවද මෙහිදී අනාවරණය විය.ජූනි 30 වැනිදා පැවැත්වෙන පිරිවැය සමාලෝචනයෙන් පසුව මේ පිළිබඳ නිල ප්‍රකාශය සිදුකිරීමට නියමිතය. කෙසේ වෙතත්, පවතින මූල්‍ය දත්ත සහ ආදායම් තත්ත්වයන්ට අනුව ඉදිරි කාලසීමාවේදී ජල බිල ඉහළ දැමීමේ කිසිදු අත්‍යවශ්‍යතාවක් මතු නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.



























