ජාතික රෝහලේ හෘද හා උරස් ශල්‍ය සේවා පුළුල් කිරීමට ත්‍රිපාර්ශ්වික ගිවිසුමක්

ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සේවා පුළුල් කිරීම සහ රෝගී පොරොත්තු ලේඛන කඩිනමින් අවසන් කිරීම අරමුණු කරගනිමින් විශේෂ ත්‍රිපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අද (25) අත්සන් තබා තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අත්සන් තැබුණු මෙම ඓතිහාසික ගිවිසුම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) පාර්ශ්ව ලෙස එක් විය.​සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ, අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ KDU උපකුලපති රියර් අද්මිරාල් එච්. ජී. යු. ධම්මික කුමාර යන මහත්වරු අදාළ ලියකියවිලිවලට නිල වශයෙන් අත්සන් තැබූහ.​නවීන ශල්‍යාගාර හා පහසුකම් පවතින KDU ශික්ෂණ රෝහලේ විශේෂඥ කාර්ය මණ්ඩල හිඟය සහ ජාතික රෝහලේ පවතින අධික රෝගී ඉල්ලුම හේතුවෙන් දිගු කලක් තිස්සේ පැවති ගැටලුවට මෙමඟින් තිරසාර විසඳුමක් ලැබෙනු ඇත. ජාතික රෝහලේ සේවාවන්හි දිගුවක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා, ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වයෙන් KDU රෝහල් පරිශ්‍රයේදී හෘද සැත්කම් සහ ප්‍රතිකාර ලබාදීමට නියමිතය.​රාජ්‍ය අංශයේ සම්පත් එකිනෙක ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක කෙරෙන මෙම සුවිශේෂී සෞඛ්‍ය වැඩසටහන මඟින්, දිගු කලක් තිස්සේ හෘද සැත්කම් අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල පසුවන රෝගීන්ට කඩිනම් සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,301

Leave A Reply

Your email address will not be published. Required fields are marked *