ජාතික සංවර්ධනය උදෙසා සාමූහික කැපවීමේ වැදගත්කම අගමැතිනි අවධාරණය කරයි

රටක සැබෑ ප්‍රගතිය උදාකරගත හැක්කේ සියලු පාර්ශ්වයන්ගේ සාමූහික ප්‍රයත්නයන් සහ කැපවීම තුළින් පමණක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. දැනුමෙන් සහ කුසලතාවයෙන් පිරිපුන් සමාජයක් ගොඩනැගීමට නම් උසස් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවත්, එය වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණක් බවත් ඇය සඳහන් කළාය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනයේ (IIESL) 48 වැනි වාර්ෂික සැසිවාරයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළේය.​වෙනස් වන ගෝලීය ආර්ථික රටාව තුළ ඉංජිනේරු ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සතු සුදුසුකම්වලට ජාත්‍යන්තර මට්ටමේ නිසි පිළිගැනීමක් ලබා දීමේ වැදගත්කම අගමැතිනිය මෙහිදී පෙන්වා දුන්නාය. මෙය රටේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ තරගකාරිත්වය ඉහළ නැංවීමට මෙන්ම, දේශීය වෘත්තිකයන්ට ගෝලීය වශයෙන් නව රැකියා අවස්ථා පුළුල් කර ගැනීමට ද ඉවහල් වනු ඇත. ජාතික සංවර්ධනය උදෙසා ඉංජිනේරුවන් ඉටුකරන සුවිශේෂී මෙහෙවර ද ඇය එහිදී ඇගයීමට ලක් කළාය.​රජය, අධ්‍යාපන ක්ෂේත්‍රය, වෘත්තීය ආයතන සහ කර්මාන්ත අංශය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම ජාතික ඉලක්ක සපුරා ගැනීමට ඇති කෙටිම මග බවද ඇය අවධාරණය කළාය. මෙම අවස්ථාවට සමගාමීව, ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනයේ නව සාමාජිකයන් සඳහා සාමාජිකත්ව සහතික ප්‍රදානය කිරීම ද අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඉතා අභිමානවත් ලෙස සිදු කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 1,209

Leave A Reply

Your email address will not be published. Required fields are marked *