ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්‍රයේ අමරණීය සලකුණක් තැබූ, ‘ජාතියේ යශෝරාවය’ ලෙසින් විරුදාවලිය ලද ප්‍රවීණ ගායිකා විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 82 වන වියෙහි පසුවූ අතර, ඇයගේ අභාවය සිදුව ඇත්තේ නුගේගොඩ නාවල පාරේ පිහිටි ඇගේ නිවසේදීය. 1943 අගෝස්තු 23 වන දින අලුත්ගම ලෙවන්දූවේදී උපත ලද ඇය, මූලික අධ්‍යාපනය සඳහා කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් විය. පාසල් අවධියේදී ටී.එන්. මාග්‍රට් පෙරේරා ගුරුවරියගේ මගපෙන්වීම ලැබීම ඇයගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂණයක් විය. එකල ලංකා ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකරයන්ගේ “ළමා මණ්ඩපය” වැඩසටහනට සම්බන්ධ වෙමින් “බුදු සාදු” ගීතය ගැයීමෙන් ඇය සිය කලා ජීවිතය ආරම්භ කළාය. අනතුරුව 1961 වසරේදී තිරගත වූ මෙරට ප්‍රථම වර්ණ චිත්‍රපටය වන “රන්මුතු දූව” සඳහා සම්බන්ධ වෙමින්, පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් සහ නාරද දිසාසේකරයන් සමඟ එක්ව “ගලන ගඟකි ජීවිතේ” ගීතය ගැයීමෙන් සිනමා පසුබිම් ගායනයට පිවිසියාය. ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය හැදෑරීමෙන් පසු විශාරද උපාධිය හිමිකරගත් ඇය, දශක ගණනාවක් පුරා මෙරට ගීත ක්ෂේත්‍රය පෝෂණය කළාය. ‘සත්‍යයේ ගීතය’, ‘පවන’, ‘හේමන්තයේදී’ සහ ‘පෙම්බර ලංකා’ වැනි දැවැන්ත ජනප්‍රියත්වයට පත් ඒකපුද්ගල ගීත ප්‍රසංග මෙන්ම ඇල්බම රැසක් රටට දායාද කළ අතර, “සින්දු හෝඩිය” හරහා ළමා ගීත ක්ෂේත්‍රයටද අනගි මෙහෙයක් ඉටු කළාය. ඇයගේ අතුපමේය කලා සේවය අගයමින් හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් ඇතුළුව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් ඇය පිදුම් ලබා ඇත. ඇයගේ අවසන් කටයුතු සිදු කෙරෙන දිනය සහ වේලාව පිළිබඳ විස්තර ඉදිරියේදී පවුලේ ඥාතීන් විසින් දැනුම්දීමට නියමිතය.



























