දෛනික පිරිවැටුම රුපියල් ලක්ෂයකට වඩා වැඩි හෝ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 36 ඉක්මවන සියලුම වෙළෙඳ සහ සේවා ආයතන සඳහා එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ බද්දේ ලියාපදිංචි වීම ඉදිරි ජූලි 01 වන දින සිට අනිවාර්ය කර ඇත. නුවරඑළිය දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ආදායම් කොමසාරිස් ඊ. ඩී. කරුණාරත්න මහතා මේ බව දැනුම් දුන්නේ ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අමතමිනි. මීට පෙර පැවති රුපියල් මිලියන 60ක වාර්ෂික පිරිවැටුම් සීමාව, නව බදු ප්‍රතිපත්තිය යටතේ මෙලෙස රුපියල් මිලියන 36ක් දක්වා සංශෝධනය කර තිබේ.මෙම නව රෙගුලාසිය රටේ ක්‍රියාත්මක සියලුම තොග සහ සිල්ලර වෙළෙඳ ව්‍යාපාර, සේවා සපයන ආයතන මෙන්ම නිෂ්පාදන ආයතන සඳහා ද එකසේ බලපැවැත්වේ. තම ව්‍යාපාරයේ දෛනික ආදායම රුපියල් ලක්ෂයක සීමාව ඉක්මවන්නේ නම්, අදාළ බදු පද්ධතිය තුළ ලියාපදිංචි වීම ව්‍යාපාරික ප්‍රජාව සතු නීතිමය වගකීමකි.බදු ලියාපදිංචිය වඩාත් පහසු කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිය නිල වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. එසේ නොමැති නම්, දිවයින පුරා පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයක් වෙත ගොස් සිය ව්‍යාපාරය බදු ගෙවන්නෙකු ලෙස ලියාපදිංචි කිරීමට ව්‍යාපාරිකයින්ට අවස්ථාව සලසා දී තිබේ.



























