ට්‍රම්ප්ගේ “Project Freedom” මෙහෙයුම තාවකාලිකව නවතී

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ “Project Freedom” මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ඉරානය සමඟ නව රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවකට එළඹීම සඳහා අවස්ථාවක් ලබා දීම මෙම තීරණයේ මූලික අරමුණ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එනමුදු, ඉරාන වරායන් ඉලක්ක කර ගනිමින් පනවා ඇති ආර්ථික හා නාවික අවහිර කිරීම් තවදුරටත් නොවෙනස්ව ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.​සිය නිල ‘Truth Social’ ගිණුම හරහා විශේෂ සටහනක් තබමින් ට්‍රම්ප් පවසා සිටියේ, පාකිස්ථානය ඇතුළු මිත්‍ර රටවල් කළ ඉල්ලීම් මෙන්ම දැනට සාකච්ඡා මට්ටමේ පවතින සම්මුතීන්හි සාර්ථකත්වය සලකා බලා මෙම පියවර ගත් බවයි. මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය සමනය කිරීමටත්, වඩාත් ස්ථාවර එකඟතාවකට මාවත සකසා ගැනීමටත් මෙම තාවකාලික පසුබැසීම උපකාරී වනු ඇතැයි අමෙරිකානු පරිපාලනය විශ්වාසය පළ කරයි.​කලාපීය ආරක්ෂාව සහ ලෝක වෙළඳ ගමනාගමනයට අතිශය වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපය තීරණාත්මක වනු ඇත. ඉරානය මෙම අවස්ථාවට දක්වන ප්‍රතිචාරය මත ඉදිරි හමුදාමය ක්‍රියාමාර්ග තීරණය වන අතර, සාකච්ඡා අසාර්ථක වුවහොත් මෙහෙයුම යළි ක්‍රියාත්මක කිරීමට අමෙරිකාව සූදානමින් සිටින බවද වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 753

Leave A Reply

Your email address will not be published. Required fields are marked *