ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම අරමුණු කරගනිමින්, ලොව සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇති නවීන එන්නත් ක්‍රමවේද සහ වොල්බැකියා බැක්ටීරියා තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන වැඩසටහනක් අරඹමින්ය. දැනට වාර්තා වන රෝගීන්ගෙන් වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බැවින්, අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ මර්දන වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මක කර ඇත.පසුගිය කාලය පුරා ක්‍රියාත්මක කළ විශේෂ වාට්ටු සහ අධි රඳවා ගැනීමේ ඒකක (HDU) ස්ථාපිත කිරීමේ වැඩසටහන් හේතුවෙන්, 2009 වසරේ පැවති 1%ක ඩෙංගු මරණ අනුපාතිකය මේ වන විට 0.05% – 0.06% වැනි අවම අගයකට අඩු කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව තිබේ. කෙසේ වෙතත්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව 2026 වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 61,060ක් වාර්තා වී ඇති අතර මරණ 39ක් සිදුව ඇත. මෙම මරණ සංඛ්‍යාව අතරට වයස අවුරුදු 5ට අඩු දරුවන් ද ඇතුළත් වීම විශේෂ අවධානයට ලක්ව තිබේ.රෝගය පාලනය කිරීමේදී මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම මූලික විසඳුම බවත්, එය තනිව සෞඛ්‍ය අංශවලට පමණක් කළ නොහැකි බැවින් සමස්ත සමාජයේම වගකීමක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් නවීන එන්නත් සහ ස්වාභාවික වොල්බැකියා බැක්ටීරියා ක්‍රමවේදය ඉතා ඉක්මනින් ජනගත කිරීමට රජය බලාපොරොත්තු වන අතර, ඒ හරහා ඩෙංගු රෝගය සමාජයෙන් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.

























