මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධියක් හේතුවෙන් බන්ධනාගාර දේපළ රැසකට දැඩි හානි සිදුව තිබේ. මෙම සිදුවීමේදී බන්ධනාගාරය සතු වටිනා ස්කෑනර් යන්ත්‍ර සහ CCTV පද්ධතිය රැඳවියන් පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇති බව වාර්තා වේ. බන්ධනාගාර ආරක්‍ෂක පද්ධතියට සිදුවූ මෙම හානිය පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමුව ඇත.මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සිදුවූ ජීවිත හානි සහ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ සහාය ලබාගෙන ඇති අතර, තත්ත්වය සමනය කිරීමෙන් පසු රැඳවියන් 700ක් පමණ ආරක්ෂිතව වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට බලධාරීන් පියවර ගෙන ඇත.පවතින තත්ත්වය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරීමට පියවර ගෙන තිබේ. ඊට අමතරව මීගමුව පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශය ද ඒකාබද්ධව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.

























