රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි. සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළේ බොරතෙල් රැගත් තවත් නෞකා දෙකක් ඉදිරි දින කිහිපය ඇතුළත කොළඹ වරායට ළඟාවීමට නියමිත බැවින් අවශ්‍ය තොග අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බවයි.ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඇණවුම් කරන ලද බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආනයනය කරන ලද තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් වශයෙන් සමස්තයක් ලෙස බොරතෙල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අසූදහසක් මෙරටට ලැබීමට නියමිතව ඇත.ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ යා හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පදනම් විරහිත කටකතා හේතුවෙන් ඇතැම් පිරවුම්හල් අසල අනවශ්‍ය පෝලිම් නිර්මාණය වී ඇති බව ද කළමනාකාර අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. එම නිසා එවැනි අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී සාමාන්‍ය පරිදි ඉන්ධන ලබාගන්නා ලෙස සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.



























