දිවයිනේ ජලාශ 40ක් වාන් මට්ටමට

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා පිහිටි ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් මේ වන විට වාන් මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා සඳහන් කළේ අද (15) පෙරවරු 6.00 වන විට මෙම තත්ත්වය වාර්තා වූ බවයි. ඒ අනුව අනුරාධපුරයේ රාජාංගනය, නාච්චාදූව, කුරුණෑගල දැදුරුඔය, හම්බන්තොට ලුණුගම්වෙහෙර සහ පුත්තලම තබ්බෝව ඇතුළු දිස්ත්‍රික්ක රැසක ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇත.​වාන් දොරටු විවෘත කිරීම පිළිබඳ සැලකීමේදී, රාජාංගනය ජලාශයේ දොරටු දෙකක් අඩි 3 බැගින් විවෘත කර ඇති අතර, ලුණුගම්වෙහෙර සහ වෙහෙරගල ජලාශවල දොරටු 6 බැගින් විවෘත කර ජලය මුදාහැරේ. මීට අමතරව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 12ක් සහ දැදුරුඔය ජලාශයේ දොරටු 2ක් ද විවෘත කිරීමට වාරිමාර්ග නිලධාරීන් පියවර ගෙන ඇත. අලිකොටආර, යාන්ඔය සහ ඉගිණිමිටිය වැනි ජලාශවලින් ද මේ වන විට කලා ඔය, කිරිඳි ඔය සහ මැණික් ගඟ වැනි ප්‍රධාන ජල මූලාශ්‍ර වෙත විශාල ජල කඳක් නිකුත් වෙමින් පවතී.​ජලාශවලින් ජලය මුදාහැරීම හේතුවෙන් අදාළ ගංගා සහ ඇළ මාර්ග ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. විශේෂයෙන් ගංවතුර අවදානම පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, හදිසි ආපදා තත්ත්වයකදී ආරක්‍ෂිත පියවර අනුගමනය කිරීමට සූදානමින් සිටින ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,141

Leave A Reply

Your email address will not be published. Required fields are marked *