හෙට (ඔක්තෝබර් 01) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලට මෙන්ම පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට පස්වරු 1.00න් පසු වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.මෙම වැසි සමග සමහර ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත. තවද, බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේ මීදුම් සහිත ස්වභාවයක් අපේක්ෂා කළ හැකිය.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් මහජනතාව දැඩි සැලකිලිමත් වන ලෙස කාලගුණ අංශ ඉල්ලා සිටී. ස්වභාවික විපත්වලින් ආරක්ෂාවීම සඳහා සුදුසු පියවර අනුගමනය කිරීම වැදගත් වේ.



























