පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපයේදී ද නොවෙනස්ව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තත්ත්වය හෙට (මැයි 11) වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මේ නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර අකුණු සහිත වැසි ද බලාපොරොත්තු විය හැකිය.විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ ඇතුළු පළාත් රැසකට බලපාන පරිදි මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. උතුරු පළාතට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට ද මෙම තද වැසි තත්ත්වය බලපානු ඇත. පවතින වායුගෝලීය පද්ධතියේ වර්ධනය වීමත් සමඟ ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව නිල නිවේදනයේ සඳහන් වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ එදිනෙදා කටයුතු සැලසුම් කිරීමේදී අවධානයෙන් පසුවීම වැදගත් වන අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙස දන්වා ඇත.

























