දිවයිනේ පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. අද (22) අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ මෙම නිවේදනය හෙට (23) අලුයම 3.00 දක්වා පැය 24 ක කාලයක් වලංගු වන බව එම සංවිධානය සඳහන් කරයි.ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ රත්නපුර යන ප්‍රදේශවලටත් දෙවන මට්ටමේ “අවදානයෙන් සිටින්න” (ඇම්බර්) නිවේදන නිකුත් කර ඇත. මෙම කලාපවල වෙසෙන ජනතාව අවට පරිසරය පිළිබඳව දැඩි සැලකිල්ලකින් පසුවිය යුතුය.මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ යන ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ “විමසිලිමත් වන්න” (කහ) නිවේදනය නිකුත් කර තිබේ. අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව නායයෑමේ පූර්ව ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරමින් ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බව ද දැනුම් දෙයි.

























