අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ හැකි නායයෑම්, පස්කන්ඩි කඩාවැටීම් සහ ගල් පෙරළීමේ අවදානමක් පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) භූ නියම විද්‍යාත්මක අංශය විසින් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම අනතුරු ඇඟවීම අද (11) පස්වරු 4:00 සිට හෙට (12) පස්වරු 4:00 දක්වා ඉදිරි පැය 24ක කාලය සඳහා බලපැවැත්වෙන බව එම සංවිධානය සඳහන් කරයි.ලැබී ඇති නිවේදනයට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, බුලත්කොහුපිටිය සහ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ (කහ පැහැති – අවධානම්) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මීට අමතරව බදුල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවලට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශ කිහිපයකට පළමු මට්ටමේ (ඇම්බර් – දැනුවත් වීමේ) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ආපදා නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව මෙන්ම ඒ හරහා ගමන් ගන්නා රියැදුරන් ද මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව ආපදා කළමනාකරණ අංශ වැඩිදුරටත් දැනුම් දෙයි.

























