2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සඳහා එක් කිරීමට නියමිත නව සංශෝධන ඇතුළත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි කෙටුම්පත් කර ඇති මෙම යෝජනා මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලතල සහ විමර්ශන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමට අපේක්ෂිතය.නව සංශෝධනවල ප්‍රධානතම ලක්ෂණය වන්නේ යම් දූෂිත ක්‍රියාවකට අනුබල දුන් අයෙකු තමන් දන්නා සියලු සත්‍ය තොරතුරු කොමිෂන් සභාව හමුවේ සම්පූර්ණයෙන්ම හෙළිදරව් කරන්නේ නම්, ඔහුට එරෙහිව නඩු පැවරීමෙන් වැළකී සිටීමට අධ්යක්ෂ ජනරාල්වරයාට බලය පැවරීමයි. එසේම පනතේ 67 වගන්තිය වෙනස් කිරීම හරහා දැනට මහේස්ත්‍රාත් අධිකරණවල පවතින ඇතැම් නඩු ඉල්ලා අස්කර ගැනීමටද අධ්යක්ෂ ජනරාල්වරයාට ඉඩකඩ සැලසේ.මීට අමතරව දූෂණ මගින් උපයාගත් දේපළවල වටිනාකම අයකර ගැනීමට මෙන්ම අක්‍රමවත් ලෙස ලබාගත් ප්රතිලාභ හෝ පත්වීම් නීති විරෝධී බවට පත් කිරීමටද යෝජනා කර ඇත. කොමිෂන් සභාවේ මානව සම්පත ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස පළාත් රාජ්‍ය සේවයේ හා පොලිස් බලකායේ නිලධාරීන් තාවකාලිකව හෝ ස්ථිරව එහි තනතුරු සඳහා අනුයුක්ත කර ගැනීමටද මෙයින් අවස්ථාව හිමිවනු ඇත.



























