ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇප මත මුදා හැරේ

රජයට අයත් ‘සයුර’ කැණීම් නෞකාව වංචනික ලෙස බදු දී රජයට රුපියල් මිලියන 22ක පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබූ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති නිලංග රූපසිංහ සහ චතුරිකා සත්සරණි යන සැකකරුවන් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා නියෝග කර තිබේ. සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අධිකරණය, ඔවුන්ට විදෙස් ගමන් තහනමක් ද පැනවීය.​අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, රුපියල් මිලියන 1000ක වටිනාකමකින් යුතු මෙම නෞකාව හිටපු සභාපතිවරයා විසින් තමන්ම නිර්මාණය කරගත් ව්‍යාජ සමාගමකට බදු දී ඇති බවයි. මෙම සමාගම සඳහා ආරක්ෂක නිලධාරියෙකුගේ නම භාවිතා කර ඇති අතර, දෙවන සැකකාරියගේ බැංකු ගිණුම හරහා මෙම මූල්‍ය වංචාව සඳහා ආධාර අනුබල ලබාදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.​කෙසේ වෙතත්, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේදී කියා සිටියේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. දිරාපත් වෙමින් පැවැති නෞකාව අලුත්වැඩියා කොට පවත්වාගෙන යාම සඳහා බදු දීමට සභාපතිවරයා කටයුතු කළ බවත්, එහිදී කිසිදු වංචාවක් සිදුවී නොමැති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,195

Leave A Reply

Your email address will not be published. Required fields are marked *