ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නවීන තාක්ෂණය සමඟ බද්ධ කරමින් ස්ථාපිත කෙරුණු ‘තේ සම්පත් ඩිජිටල් මධ්‍යස්ථානය’ ජාත්‍යන්තර තේ දිනයට සමගාමීව අද (21) හන්තානයේදී නිල වශයෙන් විවෘත කෙරුණා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, පෞද්ගලික අංශය මෙන්ම ජාත්‍යන්තර සංවිධානවල දායකත්වය ඇතිව ක්‍රියාවට නැංවුණු මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ස්ථාපිත කර ඇත්තේ හන්තාන කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට අයත් රත්නසිරි වික්‍රමනායක අන්තර්ජාතික පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේය. මෙරට තේ වගා ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා දේශීය හා ජාත්‍යන්තර පාර්ශවයන් රැසක් එක්ව ගත් සාර්ථක පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.මෙම නව ඩිජිටල් මධ්‍යස්ථානය දේශීය තේ කර්මාන්තයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පොල මහතා ප්‍රකාශ කළා. මෙමඟින් කාලගුණික විපර්යාස, පසේ ගුණාත්මකභාවය මෙන්ම ශාක රෝග පිළිබඳව වැදගත් විද්‍යාත්මක දැනුම හා තොරතුරු සෘජුවම ගොවීන් වෙත සන්නිවේදනය කිරීමට නියමිතය. මීට අමතරව, වගාකරුවන් මුහුණ දෙන විවිධ ගැටලුවලට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ද මීට සමගාමීව දියත් කර තිබේ.මෙම සමාරම්භක අවස්ථාවට එක්වූ නෙදර්ලන්ත තානාපති ඉවෝන් රටිජන්ස් මහත්මිය (Yvonne Rutjens) අවධාරණය කළේ ‘සිලෝන් ටී’ යනු හුදු පානයක් පමණක් නොව ලෝකය පුරා මුල් බැසගත් ප්‍රචලිත සංස්කෘතියක් බවයි. ලෝක තේ වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව තවමත් ප්‍රබල සහ ස්ථාවර ස්ථානයක් හිමිකරගෙන සිටින බව පෙන්වා දුන් තානාපතිවරිය, මෙරට තේ කර්මාන්තයේ ඉදිරි අනාගතය හරිත හා තිරසර කෘෂිකර්මාන්තය වෙත යොමුවීමේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බව ද වැඩිදුරටත් සඳහන් කළාය.

























